Thursday, August 10, 2017

123. අහිමි සඳ

පින්තූරය : todofondos.com

“ඊට පස්සේ කුමාරයයි, කුමාරියි…”

නින්දට වැටුණු තම සිඟිත්තා දිහා බැලූ ඇය සීරුවෙන් කතන්දර පොත වැහුවා … යටිතොල මඳක් විකාගෙන නිදියන සිඟිත්තා ඇයට සිහිකළේ ඔහුගේ ආදරණිය මුහුණ… දරුවාගේ පොරෝනාව සැකසූ ඇය සිඟිති නළලට අතතබා උණගතිය වැඩිවීමක් නැති බව සැක හැර දැනගත්තා… නිදන ලාම්පුවේ ආලෝකය සුසර කර ශබ්ද නොනගා ඇය සිඟිත්තාගේ කාමරයෙන් පිටවූයේ ඉන් අනතුරුවයි…

“අදත් පරක්කුයි…” ඔහු කෙදිරුවේ ඇගේ සවනත වූ කෙස් රොද සෙමින් මෑත් කරමින්…

“කතන්දර කියලා පුතා නිදකරවලා එපැයි එන්න…”

පසුපස නොබලාම ඇය පිළිතුරු දුන්නා…

“මට තේරෙනවා… “

ඇය ඔහුගේ උරහිසට බරවෙද්දී ඔහු සෙමින් ඇගේ දෑත් සම්භාහනය කරන්න පටන්ගත්තා…

“හෙට ඔයාට මොනවද ඕනේ…?”

ටික වෙලාවකට පස්සේ ඔහු අහද්දී ඇය හිටියේ ඉදිරියේ ඇති ජලතලයේ රැළි අතර බිඳෙන සඳේ ඡායාව දිහා බලාගෙන… විලට හරියට හදේ ඡායාව හදන්නට අකීකරු හුලඟ ඉඩදෙන්නේ නැති හැටියක්…

“මොකද්ද කිව්වේ..?”

“හෙට ඔයාට මොනවද ඕනේ…”

“මම හිතුවේ අමතක වෙලා ඇති කියලා…”

“මමත් හිතුවා… ඒත් අමතක වෙලා නෑනේ…”

“මට හඳ ඕනේ…” ඇය මිමිණුවා...

ඔවුන් වාඩිවී සිටි ගල් බංකුවෙන් නැඟී හිටිය ඔහු තොටුපළ අද්දර තිබුණු ඔරුවට නැග්ගේ එය රඳවා තිබුණු රැහැන මුදාහරිමින්…

“එන්න…”

“කොහේ යන්නද..?”

“හඳ හොයන්න…”

ඔහුගේ අත් වාරුවෙන් ඇය ඔරුවට නැඟුනා… ඉන්පස්සේ හබල අතට ගත්ත ඔහු හෙමින් ඔරුව විල්තෙරින් ඉවතට පදවන්න වුනා…

“වැඩි දුර යන්න බෑ…”

“ඇයි..?”

“පුතාට තවම හරියට උණ හොඳ නැහැ… ඇහැරිලා අඬන්න පුළුවන්…”

ඔහු හබල ඔරුව ඇතුළට ගත්තා… අරමුණක් නැති ඔරුව ඔහේ පාවෙන්න පටන් ගත්තා… ඔරුව දිගේ සීරුවට අනෙක්පසට ඇවිදගෙන ආ ඇය ඔහුගේ තුරුලේ සැඟවුනා… මැදියම් රැයේ ඔවුන්ගේ උණුසුම් ආලිංගනය දකින්නට සිටියේ හඳ පමණයි… ඔරුව සෙලවෙන රිද්මයට ජල තරංඟ නොනවත්වා හැදුනා… බිඳුනා… හදේ ඡායාව කෑලි කෑලි වලට කැඩිලා ගියා… ඔහුගේ අඩපණ සිරුර ඇය පසෙකින් වැතිරුණේ ඉන්පසුවයි…

“අන්න අරහේ… “

නිරුවතින් සිටි ඇය උඩබලාගෙන මිමිණුවා…

“මොකද්ද…?”

“හඳ අන්න අහසේ… වතුරේ තිබිලා තියෙන්නේ ‌‍ඡායාවක්…”

“ඔව් අපි බොරු ගමනක් ආවේ…”

“කමක් නෑ… වතුරේ හඳ නෑ කියලා අපි දැනගත්තානේ…කොහොමත් මට දැන් හඳ එපාත් එක්ක…”

“හඳ එපා…?”

“එපා… හඳ තරු මේ සේරම අහසෙම තිබුණ දෙන්… මෙහෙම එකලඟ වැතිරිලා ඒවා දිහා බලාගෙන ඉන්න ඔයා හැමදාම මගෙත් එක්ක ඉන්න… ඒ ඇති…”

ඔහු දිඟු සුසුමක් හෙළුවා…

“අර බලන්න එක ළඟ තියෙන තරු තුනක්… හරියට අපි තුන්දෙනා වගේ…”

ඇය කිව්වේ අහසට ඇඟිල්ල දික්කරන ගමන්..

“ඕවා දිහා බලාගෙන හිටියා කියලා මොනවද ඔයාට ලැබෙන්නේ… අනික ඔය පේන සමහර තරු දැන් ඒ තැන්වල ඇත්තෙත් නෑ…”

ඔහු කිව්වේ ඇගේ ඇස් වලින් තමන්ගේ ඇස් ඉවතට ගන්නේ නැතුව...

“ඇයි ඒ..?”

“ඒවා මැරිලා…!”

“ඒ වුණාට ඒවා කාලෙකට කලින් දිස්නෙට දිලිසුන තරු… ඒකයි මැරුණට පස්සෙත් ඒ තරු වල එළිය විශ්වය දිගේ අපේ ලෝකෙට තාමත් එන්නේ…”

නැඟී සිටි ඇය තම රාත්‍රී ගවුම ඇඟ ලාගත්තා…

“අපි යමු …”

“තව පොඩ්ඩක් ඉමු…”

ඔහු කිව්වේ ඇගේ ඇස් දිහා බලාගෙන…

“බැහැ… අන්න එලාම් එකත් වදිනවා… අද ඔෆිස් එකේ වැඩ ගොඩයි… අනික මම හිතුවේ අද ඔයාව මතක් කරලා ආරාමේ වැඩ ඉන්න හාමුදුරුවන්ට හීල් දානේ පිළිගන්වන්න… පුතාව ඩේ කෙයාර් එකට ඇරලන්න කලින් බේත් අරන් දෙන්නත් ඕනේ…”

ඔහු සෙමින් ඔරුව නැවතත් ඉවුරට පදවන්නට උනා… ඔරුව තොටුපලට ළංවූ වහාම ඉන් ඉවතට පැනගත් ඇය නොනවත්වා නඳදෙන එලාම් එක නිවා දැමුවා… ඉන් පසුව හිස්වූ යුගල ඇඳ සකසා තම සිඟිත්තාගේ කාමරය දෙසට පියවර තැබුවා…
Web Statistics